Thursday, 16 August 2018

වසර 300ක් ජීවත් විය හැකි බෙහෙතක්.....

 වස විසෙන් පිරි ආහාර අනුභවය නිසාම වර්තමානයේ අවුරුදු පනහක්වත් ජීවත් වීම සැක සහිතය. නමුත් අතීතයේ දී නිරෝගී ශරිර සෞඛ්‍යය හේතුකොට ගෙන වසර සියය ඉක්ම වූ ආයුෂ වින්දෝ බොහෝය. එසේම හිමාල වනයේ මෙන්ම චිනයේ වනාත්තරගතව අවුරුදු සීයට ද බොහෝ එහා ගිය ආයුෂ විඳින සෘෂිවරුන් වෙසෙන බව ද කියති.

භාවනාවෙන් සහ දේශීය ඖෂධ භාවිතයෙන් ඔවුන් ඒසේ දීර්ඝායුෂ විඳිමින් සිටින බව පැවසේ. වර්තමානයේ ජනතාව ගෙවන දිවි පෙවෙතේ හැටිය වසර සීයක් නිරෝගීව ජීවත් විය හැකි නම් එය ද විස්ම කර්මයකි. එසේ නම් යමෙකුට අවුරුදු තුන්සීයක් ජීවත් විය හැකි යම් ඖෂධයක් නිෂ්පාදනය වුව හොත් කෙසේ වෙයිද? කුමන ආකාරයේ ඉල්ලුමක් ඒ සඳහා ලැබෙයි ද?

එසේ අවුරුදු තුන්සියක් ජීවත් විය හැකි අපුරු විස්මිත දේශීය ඖෂධයක් පිළිබඳව විස්තර සොයා යාමට ඉරිදා ලංකාදීපය වෙනුවෙන් අපට හැකි විය.

මහනුවර රාජධානී සමයේ විසු බව කියන ශ්‍රී රත්නසේකර නමැති රාජකීය වෛද්‍යවරයකු විසින් ලියන ලද අත්වෙද පොතක මිනිසෙකුට අවුරුදු තුන් සියයක් ජීවත් විය හැකි බව කියන අරුම පුදුම බෙහෙතක් ගැන සඳහන් වෙයි.
මේ විස්මිත බෙහෙත පිළිබඳව සඳහන්ව තිබෙන්නේ ද ශ්‍රී ලංකාවේ ඉපැරැණි දේශීය වෛද්‍ය ග්‍රන්ථියක් ලෙස සැලකෙන සිතියම් සහිත දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය නමැති ග්‍රන්ථයේය. රත්නපුර මාරපන ශාස්ත්‍රෝ​දය පරිවේණාධිපතිව වැඩ විසු අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමියෝ මේ වෙද පොතේ කතුවරයා වේ. මෙම ග්‍රන්ථය ප්‍රථමයෙන් එළි දක්වා තිබෙන්නේ 1959 වසරේදීය. ඥානවිමල හිමි මෙරට විසු අති දක්ෂ ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස සැලකේ.

එම වකවානුව වන විට සිංහල බසින් සකසන ලද දේශීය ​වෙද අත්පොත් හිඟ අවස්ථාවක කිරි ඇල්ලේ ඥානවිමල හිමියන් විසින් රචිත මෙම වෙද අත්පොත දේශීය වෙදකමේ උන්නතිය වෙනුවෙන් සිදු කළ සුවිශාල මෙහෙවරක් ලෙස ද සැලකේ.

සංස්කෘත හින්දි වංග හා ඉංග්‍රීසි භාෂා වලින් ඉන්දියානු ඖෂ්ධ වර්ග පිළිබඳව ලියැවුණු ශබ්ද කෝෂ රාශියක් තිබුණ ද එකල මෙරටට ආවේනික ඖෂධ පිළිබඳව සිංහලෙන් ආයුර්වේද වෛද්‍ය ශබ්ද කෝෂයක් සකස් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන්නට ඇත.

එම වකවානුවේ පැවැති ප්‍රායෝගික ගැටලු තුළ පොතක් මුද්‍රණය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවන්නට ඇත. සංස්කෘත පාලි හා සිංහල භාෂා වලින් ලියන ලද ලංකාවේ පැරැණි වෙද පොත් හැට එකක් එක ල තිබුණ ද ඒවායින් මුද්‍රණය වී ඇත්තේ ඉතා ස්වල්පයක් බව සඳහන් වේ.එයින් ද පොත් හතක්ම ලියා පළ කර ඇත්තෝ ඥානවිමල හිමියන් විසින් වීම ද විශේෂත්වයකි.

ඤාණවිමල හිමියන් විසින් ලියන ලද මෙම වෙද පොත පිළිබඳවත් එහි සටහන් කර ඇති අවුරුදු තුන් සියයක් ජීවත් විය හැකි විස්මිත බෙහෙත පිළිබඳවත් තොරතුරු මා හට පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙකු වන කුරුණෑගල මැහිඇල්ලේ පදිංචි ආර්.ඩී.සී. රන්තිලක මහතාය.සර්වාංග වෙදකමට සහ කැඩුම් බිඳුම් වෙදකමට එකසේ දක්ෂ රන්තිලක වෙද පරම්පරාවට අයත් රන්තිලක වෙද මහතා (69) රාජ්‍ය ගෞරව සම්මානලාභී වෛද්‍යවරයෙකි.

ඤාණවිමල හිමියන් ලියු මෙම වෙද පොත ඒ මහතාට ලැබී තිබුණේ ඔහුගේ පියාණන් වු හව්කෙන්දා රත්තිලක වෙද මහතාගෙන්ය. හව්කෙන්දා මහතා හෙළ වෙදකම ජ්‍යොතිෂ්‍ය ශාන්ති කර්ම හා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳව ඉමහත් ප්‍රසිද්ධියක් දැරූ අයෙකි.

පියාගෙන් උරුමයක් ලෙස ලැබුණු පාරම්පරික වෙද අත් පොත් පුස්කොළ පොත් විශාල ප්‍රමාණයක් අතරේ තිබු ඥානවිමල හිමි ලියු දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය නම් වූ මේ ඉපැරණි ග්‍රන්ථයට සුවිශේෂී වටිනාමක් ලැබෙන්නේ මුද්‍රණයෙන් එළි දක්වා තිබුණේ මෙහි පොත් සුළු ප්‍රමාණයක් නිසා බව ද පැවසේ.පිටු 530 කින් සමන්විත මෙම ග්‍රන්ථයේ 288 සහ 289 පිටුවල අවුරුදු තුන්සියයක් ජීවත් විය හැකි විස්මිත බෙහෙත් සෑදීම පිළිබඳව මෙසේ සඳහන් කර තිබේ.



විශාල ලෙස වැඩුණු පත්කෑල ගසක මුල සිට බඹයක් (අඩි හයක්) උඩින් උඩ කොටස පෙත්ත මට්ටමට කපා හැර ඉතිරි වන ඒ මුල් කොටස මුදුනෙහි ලොකු වංගෙඩියක ඇතුළු කුහරය පමණ වූ විශාල සිඳුරක් පහතට සාරා ඒ සිදුරු ඇතුළට ඇට අස්කළ අමු නෙල්ලි පලම් හැට හතරක් සහ ඒ වර්ගයේ ලී කෑල්ලකින්ම ඇබයක් ගසා බිම සිට එ් ලී කොටස වැසී යන පරිදි අඩි හයක් උසට ගොම වැරටී (වියැළුණු ගොම) ගොඩ ගසා ඒ ගොම වැරටිවලට ගිනි තබා, ගොම වැරටි සම්පූර්ණයෙන්ම දැවී ගියාට පසු උතුරා නැගගෙන විත් එකට පිලිස්සී තිබෙන ඒ ජලාශ සාරය සහිත නෙල්ලි කල්කය ගෙන ගිතෙල් අඹරා නොපිරිහුණු ශක්තිය ඇති (පනස් විය නොඉක්ම වූ) ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ගෙන ඉස් සෝදා නහවා පිරිසිදු කොට පිරුවට අන්දවා මැසි මඳුරුවන්ගෙන් උවදුර නොවන පරිදි ආරක්ෂා සහිතව විශේෂ ඇතුළු කාමරයක කත මේ නෙල්ලි කල්කයක් උණු කළ එළ කිරිත් පමණක්ම දිනකට තුන් වේල බැගින් දිනපතා මසක් ආහාර වශයෙන් දිය යුතුය. මෙසේ මේ රසායනය එළ කිරි සමග දින පසළොස් අනුභව කරන විට ඔහුගේ හෝ ඇයගේ හිස කෙස් නියපොතු දත් හා සමත් ගැලවී යයි. මීළඟට අනික් දින පසළොස අනුභව කරන විට මේ සියල්ලම නැවත හොඳින් වැඩී තරුණ භාවයට පත් වෙයි. මෙසේ තිරිහන් වූ පසු අවුරුදු තුන්සියයක්ම ජීවත් විය හැකියි. ඉන් පසු වෙන විශේෂ පාවිච්චියක් හෝ ප්‍රතිකාරයක් නැත. යනුවෙන් ශ්‍රී රත්නසේකර රාජකීය වෛද්‍යවරයා ලියු බවද අත් පොතෙහි සඳහන් වේ.’’ යනුවෙන් ද පණ්ඩිත කිරි ඇල්ලේ ඥානවිමල හිමියෝ තම පොතෙහි සඳහන් කර තිබේ.

ඉන් පසුව උන් වහන්සේ මෙසේද සඳහන් කර ඇත. පත්කෑල විශේෂ වාජිකරණ ඖෂධයකි. අගින් කපා දැමූ ගසේ මුල් කොටස ගොමු රොඩු ගින්නෙන් රත් වන විට මුල් සහිත සම්පූර්ණ මුල කොටසේම ඇති සාරය උතුරා මුදුනෙහි වූ සිඳුරෙහි තිබෙන නෙල්ලි පලම් හැට හතරේ සමග එකට මිශ්‍ර වෙයි. නෙල්ලිද සෞඛ්‍ය ධාතු වර්ධනය වන ඖෂධයකි. මෙසේ ඇති වන මිශ්‍රණයෙහි ජීවන බලය වැඩි දියුණු කිරීමේ යම් කිසි ශක්තියක් බලයක් ඇතිවාට කිසිම සැකයක් නැත.

මෙය අප ඇසු දුටු කාලයක පරීක්ෂණයකට භාජනය කර නැති බව ද, මෙම වාජිකරණ ඖෂධය අත්හදා බැලීම් නවීන විද්‍යාවේ හා මානව සමාජයේ දියුණුවට හිතැති අයට බාර වූවක් බවද ඥානවිමල හිමියෝ කියා සිටිති.මෙම ඖෂධය නිපදවීම සඳහා යොදා ගනු ලබන පත්කෑල නැතිනම් විලාශ නමැති ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය Butea Frondosa වේ.මෙම පත්කෑල (රත්කෑල) සහ කැට කෑල (ගැට කෑල) යනුවෙන් වර්ග දෙකකි. මෙයින් ගැට සහිත සුඳු කඳක් ඇති වඩා නිල් පාට නොවුකොස් කොළ ප්‍රමාණ හැඩ හුරුකමින් යුත් කො​ළ ඇති අඩි පනහක් පමණ උසට වැවෙන වර්ගය කැට කෑල නම් වේ. මේ වර්ගයේ සෙතු ඇල්ම උළුක්කුව ඉදිමුම ඇතුළු කැඩුම් බිඳුම් වෙදකමට සහ තවත් වෙදකම්වලට ද ගන්නා බව ඥානවිමල හිමියන් සඳහන් කර ඇත.

එසේම පත් කෑල (රත්කෑල) රත් පාටට හුරු කඳන් ඇති අඩි හැත්තෑපහක් පමණ උසට වැඩෙන විශාල ගසකි. මේ ගසේ කොළ කැට කෑල කොළ වලට වඩා විශාලය. තද නිල් පැහැයකින් යුක්තය. එක වරම ගස පිරි යන සේ අතු අග පිපී තිබෙන රත් පාට මල් සමූහය දින දෙකක් තුළ පර වී වැටී ගොස් ගස් යට රතු පළස් අැතුරුවාත් සේ පෙනෙයි.

දුරට පෙනෙන මේ රතු මල් මස් කැඳැලි යයි සිතා රැවටී සිවල්ලු දුව එති. යි යනු ජනප්‍රවාදයක් බවද ඥානවිමල හිමියෝ වැඩි දුරටත් කියා සිටිති.මෙම ග්‍රන්ථයේ දේශීය ආයුර්වේද ශාක 160 ක සම්පූර්ණ හැඳින්වීමක් සිතුවම් සමග පළ කර තිබේ. මීට අමතරව තවත් ඖෂධ ශාක සහ ඖෂධ දහස් ගණනක් පිළිබඳ විස්තර ද මෙහි ඇතුළත් කර තිබේ.

මීට අමතරව විවිධ ප්‍රතිකාර සඳහා ​යොදා ගත හැකි විශේෂ දේශීය අත් බෙහෙත් කීපයක් ද ලියා ඇත‍ෙමෙම ශබ්ද කෝෂය සකස් කළ ආකාරය ද ඥානවිමල හිමියන් සඳහන් කර තිබෙන්නේ මෙසේය.පළමුවෙන්ම ඉන්දියාවේ හා ලංකාවේ මුද්‍රිත පොත් කියවා බලා මේ රටේ වෙදකමට අවශ්‍ය වචන එකතු කෙ​ළෙමි. දෙවනියට මේතාක් මුද්‍රණය වී නැති වෙද පොත් වට්ටෝරු වෙද පොත් බෙහෙත් වට්ටෝරු හා ​බෙහෙත් වදුළ පොත් ද එකතු කර කියවා බලා දුරවබෝධ වචන එකතු කළෙමි.ඉන් පසුව චිත්‍ර ශිල්පියකු හා ආධාරකාරි කීප දෙනෙකු ද කැටුව ලංකාවේ ​නොයෙක් පළාත්වල ඇවිද බෙහෙත් වර්ග ගැන සාකච්ඡා කිරීමත්, මත භේද සහිත වූද දුර්ලභ වූ ද රහස් බෙහෙත් වශයෙන් පවතින්නාවූ ද ඖෂධ වර්ගවල ලක්ෂනාදිය සහිත චිත්‍ර පිටපත් කරවීමත් කළෙමි. මෙහි ඇතුළත් වන චිත්‍ර අකුරෙන් අබින්, සුං, වච්චනාට, ඉන්දියානු ගොඩ කඳුරු යන හත වර්ගය හැර ඉතිරි සියල්ලම ඒ ඒ වෘක්ෂලතාදිය ඉදිරි​යෙහි තබා අඳින ලද නියම සටහන්ය.

​මේ සියල්ල සූදානම් කර අතට ගෙන වැඩ ආරම්භ කොට පොත ලීවීමත් මුද්‍රණයත් එකවරම නිම කළෙමි. දේශීය වෛද්‍ය ශබ්ධ කෝෂයක් ලිවීම එපමණ පහසු නැති කීවේ ඉහත සඳහන් දුෂ්කරකම නිසාමය.වෙදකමක, භාෂාවක ශාස්ත්‍රයක හෝ යම් කිසි කර්මාන්තයක කටයුතු සඳහා ව්‍යාප්තව පවත්නා වචන සංඛ්‍යාව ද ඒවයේ දියුණු හෝ පරිහානිය මැන ගැනීමේ එක් ක්‍රමයකි. දේශීය වෙදකමට අයත් වචන මහත් රාශියක් තිබේ. මේ ගැන ලියැවී තිබෙන ද්‍රව්‍යාවලිය නමැති පොතට දඹදෙණි කාලයෙන් පසු කුමක් වී දැයි දැන ගන්නට නැත. පැ!රැණි පොත ප​තෙහි තිබෙන වචන ප්‍රමාණවත් පරිදි එකතු කර අදහස් දැක් වූ වෙන පොතක් ද නැත. එනිසාම කලක සිට පැවති මේ අඩු පාඩුව පිරිමසාලීමේ අදහස මා තුළ ඇති වූයේ මීට සිවු වසරකට පෙරය.

අපේ වෙද පරම්පරාව අවුරුදු දෙදහස් හයසීකටත් වඩා පැරැණි පරම්පරාවක්. රන්තිලක වෙද පරම්පරාවක්. රන්තිලක වෙද පරම්පරාව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කිරීමත් එක්කම තමයි අපේ කුල පරම්පරාව ඉන්දියාවේ ඉඳලා ලංකාවට ආගමනය වුණෙ. බෝධිය රැක ගැනීමට පැමිණි පැරැණි කුල පරම්පරාවලින් එකක් විදිහටත් අපේ පරම්පරාව සැලකෙනවා. මගේ පියාණන් ද මේ රහස් බෙහෙත නිෂ්පාදනය කිරීමට උත්සාහ කරලා තිබුණත් අසීරු වැඩක් වුණා. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ සඳහා අත්හදා ගැනීමට සුදුසු පුද්ගලයෙකු සොයා ගැනීම අසීරු වීම. මාත් වරක් උත්සාහ කළා. මටත් සිද්ධ වුණේ ඒ දෙයමයි. මේකේ තියෙන විස්තර අනුව බැලුවාම මේ සඳහා ඉදිරිපත් වෙන්න මිනිස්සු අකැමැතියි. යනුවෙන් ද වෛද්‍ය රන්තිලක මහතා ප්‍රකාශ කළේය.

උපුටා ගැනීම ලංකාදීප පුවත්පත - 2018 - 08 - 04 

Friday, 20 July 2018

1940 ජනවාරි 20 වන දින පැරණි වන්නම් (සිතියම් සහිත) ග්‍රන්ථය පිළිබඳ පළවූ පුවත්පත් වාර්තාවක්.

1940 ජනවාරි 20 වන දින පැරණි වන්නම් (සිතියම් සහිත) ග්‍රන්ථය පිළිබඳ පළවූ පුවත්පත් වාර්තාවක්.

පැරණි වන්නම්*
(සිතියම් සහිත)

සම්පාදක :- කිරිඇල්ලේ ඤාණවිමල නා හිමිපාණන් වහන්සේ
ප්‍රකාශනය :- ජී. ඒ. ජයවීර මහතා.


කාලය විසින් නටඹුන් කරනු ලැබ තන්හි තන්හී අප්‍රකටව අභාග්‍යවත් ලෙස රැඳී තිබී මෑතක පටන් ජනරංජනයකට පත් වෙමින් එන උඩරට තාල ශාස්ත්‍රයත් වන්නම් කලාවත් පුනරුත්ථාපනයකට පත්වෙන පරිද්දෙන් රත්නපුරයේ මාරපණ ශාස්ත්‍රෝදය පිරිවෙණේ උප ප්‍රධානාචාර්‍ය්‍ය තැම්පත් කිරිඇල්ලේ ඤාණවිමල ස්වාමිපාදයාණන් විසින් සම්පාදිත කදිම පොතකි. පෙරදිග සංගීතයත් එහි පුරාවෘත්තය හා වර්තමාන තත්වයත් අලලා බලා අනාවරණයකට පත් කරමින්පම්පාදනය කොට තිබෙන වටිනා ප්‍රස්තාවනාවකින් යුක්ත වන මෙහි වන්නම් මෙන්ම අවදානම්, සව්දම්, තාල, තාලම්, සුරල්, පන්තේරු, වන්දමානම් ආදී සංගීතාංගද දැක්වේ. වන්නම් අටලොසකැයි සාමාන්‍ය විශ්වාසයක් පවත්නා නමුත් මෙහි දක්නා තිබෙන වන්නම් තිස්ගණනකි. එයින්  අටලොසක් පමණ වූ ප්‍රධාන වන්නම් සඳහා රාග තාල ආදියත් ප්‍රස්ථාරයත් දක්වා තිබේ. සිංහල සංගීතය සම්බන්ධයෙන් උද්‍යෝගයක් පහලවී ඒ පිළිබඳ නවොදයක් පහලවේ ගෙන එන මේ සමයේ මෙබඳු විධිමත් ග්‍රන්ථ ප්‍රකාශයට පත්වීම ඉතා ප්‍රෙයා්ජනවත් ය. පොතක මිළ රුපියලකි.

(1940 ජනවාරි 20 සෙනසුරාදා - සිංහල බෞද්ධයා පත්‍රය)

*මෙම ග්‍රන්ථය දැනට අප සතුව නැත.


Saturday, 14 July 2018

ශාස්ත්‍රෝදය ග්‍රන්ථ නාමාවලිය



ශාස්ත්‍රෝදය ග්‍රන්ථ නාමාවලිය

රත්නපුර මාරපන ශාස්ත්‍රෝදය පරිවේනාධිපති රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල නා හිමිපාණන් වහන්සේ විසින් 1939 සිට 1964 දක්වා විසිපස් වසරක් ලිවීමෙන්,සංස්කරණයෙන් හා සංශෝධනයෙන් ප්‍රකාශයට පමුණුවන ලද නොයෙක්  විෂයන් පිළිබඳ සිංහල පාලි සංස්කෘත භාෂාමය ග්‍රන්ථ නාමවලිය මෙසේය...


                 ·   භිධර්ම පිටකය
Ø ධම්ම සඞ්ගණීප්පකරණය
Ø විභඞ්ගප්පකරණය
Ø ධාතුකථා ප්පකරණය
Ø පුග්ගලපඤ්ඤත්තිප්පකරණය
Ø කථාවත්ථුප්පකරණය
Ø යමකප්පකරණය i
Ø යමකප්පකරණය ii
Ø පට්ඨානප්පකරණය i
Ø පට්ඨානප්පකරණය ii
Ø පට්ඨානප්පකරණය iii
Ø පට්ඨානප්පකරණය iv

·      විනය පිටකය
Ø මහාවග්ග පාලි
Ø චුල්ලවග්ග පාලි
Ø පරිවාර පාලි

              ·      සූත්‍ර පිටකය
Ø මජ්ඣිම නිකාය මූලපණ්ණාසකය
Ø මජ්ඣිම නිකාය මජ්ඣිමපණ්ණාසකය
Ø මජ්ඣිම නිකාය උපරිපණ්ණාසකය

              ·      වෙනත් පාලි පොත්
Ø රසවාහිනිය
Ø ථූපවංසය
Ø සමන්තකූඨ වණ්ණනා (ශාස්ත්‍රෝදය ව්‍යාඛ්‍යා)
Ø දීපවංසය (ශාස්ත්‍රෝදය ව්‍යාඛ්‍යා)

              ·      සංස්කෘත
Ø අර්‍කප්‍රකාශය (වෙදකම්)

              ·      සිංහල සාහිත්‍යය හා ධර්ම
Ø ත්‍රිපිටක ධර්ම සංගායනා හා ත්‍රිපිටක ශුද්ධි

              ·      දහම් සරණ
Ø සද්ධර්මරත්නාවලිය
Ø සද්ධර්මාලංකාරය
Ø පූජාවලිය
Ø සද්ධර්ම සාරත්ථි සංග්‍රහය
Ø මිලින්ද ප්‍රශ්නය
Ø අමාවතුර
Ø බුදුගුණ අලංකාරය
Ø කාව්‍යශේඛරය
Ø පවන මුද්‍රපපද ශෘංගාර රස
Ø කුස ජාතක කාව්‍ය
Ø හෙළදිවව අභිදානවත
Ø පුරාණ නාමාවලිය
Ø දඹදෙණි අස්න
Ø කුවේණි අස්න
Ø සිහභා අස්න
Ø සංයුක්ත ප්‍රදීපිකා
Ø ශ්‍රාවක ශ්‍රාවිකා චරිත
Ø සිංහල අභිධර්ම පිටකය
Ø බෞද්ධ ඇදහිල්ල
Ø ජාතකත්‍රය
Ø කැටකිරිලි සංදේශය

                    ·      ඉතිහාසය පුරාවිද්‍යාව හා ශිලා ලිපි
Ø සපරගමුවේ පැරණි ලියවිලි
Ø විහාර දේවාල පාලනය හා  ශ්‍රී පාදස්ථානය
Ø ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාර වංශය
Ø සපරගමු දර්ශන
Ø වේහැල්ලේ ධම්මදින්න ශාසන ඉතිහාසය

              ·      නක්ෂත්‍ර
Ø ප්‍රශ්ණ ශිරෝමණී

              ·      සංගීත
Ø පැරණි වන්නම්

              ·      වෛද්‍ය ග්‍රන්ථ
Ø දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය
Ø යෝගාර්‍ණවය i
Ø යෝගාර්‍ණවය ii
Ø ප්‍රයෝග රත්නාවලිය
Ø වරයෝග සාරය
Ø ශාරඞ්ගධර සංහිතා
Ø ඇහැලේපොල අධිකාරම් තුමාගේ අත්වෙද පොත i
Ø ඇහැලේපොල අධිකාරම් තුමාගේ අත්වෙද පොත ii
Ø ඇහැලේපොල අධිකාරම් තුමාගේ අත්වෙද පොත iii
Ø වෛද්‍ය චින්තාමණිය
Ø කරඹගල්ලේ අත්වෙද පොත
Ø සිංහල කෂාය සංග්‍රහය
Ø ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රාජ වෛද්‍ය වරයාගේ අත්වෙද පොත
Ø පිස්සු බලු පිස්සු මී විසට උපදෙස් හා ප්‍රතිකාර

              ·      වෙනත් පොත්
Ø සූර්ය ශතකය
Ø කටුවන මාතර හටන
Ø බුදුගුණ අලංකාරය(1962 - 64 පොදු සහතික පත්‍රවිබාගයට)
Ø පූජාවලිය(1962 - 64 පොදු සහතික පත්‍රවිබාගයට)