කිරිඇල්ලේ ඤාණවිමල අපේ නායක හාමුදුරුවෝ

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට කෝරළයේ මැද පත්තුවේ කිරිඇල්ල නම් ගමෙහි සම්භාවනිය පරම්පරාවකට අයත් රූපසිංහ ජයවර්ධන මුහම්දිරම්ලාගේ දොන් ඒබ්‍රහම් රාළහාමි ප්‍රභූවරයාට දාව ක්‍රි.ව. 1908 නොවැම්බර් මස 14 වෙනි දින උපත ලැබූ මෙම කුල කුමරු නමින් රූපසිංහ මුදියන්සේලාගේ ඩිංගිරිබණ්ඩාර නම් විය.

මූලික අධ්‍යාපනය කිරිඇල්ල ග්‍රාමිය පාඨශාලාවෙන් ලැබූ අතර පාසලින් ලැබූ අධ්‍යාපනයට අමතරව ගමේ විහාරස්ථානයේ දී ද ආගම දහම කෙරෙහි ඉමහත් ගෞරවයකින් බණ දහම් හදාරමින් ශික්‍ෂාකාමී විනීත ශිෂ්‍යයෙක් වශයෙන් ගතකළ අතර ඔහුගේ සිත වඩාත් ඇදි ගියේ පාසල් අධ්‍යාපනයට නොව පන්සලේදී ලැබූ අධ්‍යාපන ක්‍රමයට ය.

ඒ අනුව 14 වැනි වියේදී සබරගමු පළාතේ නවදුන් කෝරළයේ මැද පත්තුවේ තිරිවානකැටිගේ පුරාණ විහාරාධිපති පූජ්‍ය මාරපන මේධංකර නා හිමිපාණන් වහන්සේ හා එම පත්තුවේ මාරපන අම්බලන්ගොඩැල්ලේ විහාරාධිපති මාරපන ශ්‍රී ශාස්ත්‍රෝදය පරිවේණාධිපති විචිත්‍ර කථික පූජ්‍ය ශ්‍රී සෝභිත සිරි සුමන නා හිමිපාණන් වහන්සේගේ ද ආචාර්යත්වයෙන් ක්‍රි.ව. 1922 අගොස්තු මස 07වන දින මාරපන අම්බලන්ගොඩැල්ලේ විහාරස්ථානයේදී කිරිඇල්ලේ ඤාණවිමල නමින් පැවිදි බිමට ඇතුළත් වීය. 

අධාපනය හදාරන බාල වියේදී අප නාහිමියන් තුළ තිබී ඇති පුදුම දක්‍ෂතාවය නම් කටපාඩම් කිරීමේ හැකියාව යි. සිංහල පාලි සංස්කෘත භාෂාවන් හදාරන අතරෙහි ව්‍යාකරණ විධි හා ගාථා, කවි, ශ්ලෝක ආදිය එක්වරක් කියවිමෙන් පමණක්ම මතකයේ රඳවා ගැනීමට උන්වහන්සේ සමත්ව තිබුණි.

මේ නිසාම උපසම්පදාවට ඇතුළත් වීමට පෙරම පිරිවෙන් අධ්‍යාපනය ද සමත්ව ප්‍රාචීන භාෂොපකාර සමාගමේ සංවිධානයෙන් පැවැත්වෙන ප්‍රාචීන පණිඩිත උපාධි පරීක්‍ෂණයේ කොටස් කිහිපයක් ද සමත් වීමට මුන් වහන්සේට හැකියාව ලැබී තිබුණි.

ක්‍රි. ව. 1928 ජූනි මස 30වෙනි දින මහනුවර මල්වතු උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පද සිලයෙහි පිහිටි අප නා හිමිපාණන් වහන්සේගේ කර්මාචාර්ය භික්‍ෂූන් වහන්සේලා වූයේ හැරමිටිගල ශාස්ත්‍රාලංකාර පරිවේණාධිපති ශ්‍රී සද්ධර්ම වාගීශ්වර රතනපාල පූජ්‍ය ධීරානන්ද නායක ස්වාමීන් වහන්සේ හා මාරපන ශ්‍රී ශාස්ත්‍රෝදය පරිවේණාධිපති විචිත්‍ර කථික පූජ්‍ය ශ්‍රී සෝභිත සිරි සුමන යන නා හිමිපාණන් වහන්සේලා ය. 

උපසම්පදා ක්‍ෂේත්‍රයට ඇතුළත් වීම සිදු වූයේද මුන් වහන්සේ කොළඹ මාළිගාකාන්දේ විද්‍යෝදය පරිවෙණස්ථානයේ අධ්‍යාපන කටයතු වල යෙදී සිටින අවස්ථාවේදී ය. මාරපන අම්බලන්ගොඩැල්ලේ විහාරස්ථානය නිත්‍ය වාසස්ථානය වුව ද මූලික අධ්‍යාපනය ලාබාගත් මාරපන ශාස්ත්‍රෝදය පිරිවෙණෙන් ඈත්වීමට අදහස් නොකළ අප නා හිමිපාණන් වහන්සේ  විද්‍යෝදය පිරිවෙණේ වැඩ වාසය කරන කාලයේදි ශාස්ත්‍රෝදය පිරිවෙණට සම්බන්ධව කටයතු කිරිම අත්නොහළේ ය. 
බණ දහම් පත පොත මෙන් ම වෙදකම කෙරෙහි ද අප නා හිමයෝ දැක්වූගේ ඉමහත් දක්‍ෂතාවයකි. පිරිවෙන් අධ්‍යාපනය අවසානයේදී මාරපන ශාස්ත්‍රෝදය පිරිවෙණෙහි වැඩ හිඳිමින් තවත් ශාස්ත්‍රීය කටයතු හා වෛද්‍ය වෘත්තිය කෙරෙහි ද අවධානය යොමු කරමින් කටයතු කළ නා හිමිපාණන් වහන්සේ විහාර භූමිය එකම බෙහෙත් උයනක් බවට පත් කළහ.

ශ්‍රී ලංකාවේ නොයෙකුත් ප්‍රදේශ වලින් ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් පැමිණෙන ජනතාව සඳහා විහාර බූමියේ වෙනම බෙහෙත් ශාලාවක් සකස් කරන්නටද සිදුවිය. නේවාසිකව ප්‍රතිකාර ලබාගත් පිරිසද වැඩිවි ය. වෙදකම මෙන් ම ඒ ගැන ලියා තිබූ පැරණි වෛද්‍ය ග්‍රන්ථ හා සංස්කෘත ග්‍රන්ථ හදාරමින් දේශිය වෛද්‍ය ක්‍රමය නඟාසිටුවිමට ද සෑහෙන උත්සාහයක යෙදුණේ ය. පළකරන ලද නොයෙකුත් ග්‍රන්ථ අතර වෛද්‍ය ශබ්දකෝෂය වෛද්‍ය විද්‍යාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවනට අද ද මහඟු උපකාරයකි.

මෙම දේශිය වෛද්‍ය ශබ්දකෝෂය මුද්‍රණය කර නොබෝ දිනකින්ම මුළු පිටපත් සංඛ්‍යාව අලෙවි වූ බව ප්‍රකාශ වෙයි. වෛද්‍ය අංශයට අදාළව උන්වහන්සේ විසින් ලියන ලද පොත් සංඛ්‍යාව දැනට සඳහන් පරිදි මෙසේ ය.

 1) දේශිය වෛද්‍ය ශබ්දකෝෂය
 2) යෝගාර්‍ණවය 1 භාගය
 3) යෝගාර්‍ණවය 2 භාගය
 4) ප්‍රයෝග රත්නාවලී
 5) වරයෝග සාරය
 6) ශාරඞ්ගධර සංහිතා (ශාස්ත්‍රෝදය ව්‍යාඛ්‍යා)
 7) ඇහැලේපොල අධිකාරම් තුමාගේ අත්වෙද පොත
 8) වෛද්‍ය චින්තාමනි
 9) කරඹගලේ අත්වෙද පොත
10) සිංහල කෂාය සංග්‍රහය
11) ශ්‍රී විරපරාක්‍රම නරේන්‍ද්‍රසිංහ රාජ්‍ය වෛද්‍ය වරයාගේ අත්වෙද පොත
12) පිස්සු බලු පිස්සු මී විසට උපදෙස් හා ප්‍රතිකාර 
                                                                    යන පොත් මේ අතර වෙයි.

පණ්ඩිත උපාධි ප්‍රධානය සඳහා “සබරගමුවේ පැරණි ලියවිලි” නැමැති ග්‍රන්තය රචනා කර ඇත. සබරගමුව ගැන ලියවුණු එකම ඓතිහාසික ග්‍රන්ථය මෙය යි. පණ්ඩිත උපාධි ප්‍රධානය සිදු වූ පසු මෙම ග්‍රන්ථය පසු කාලයේදී “සබරගමු දර්ශනය” නැමැති පොත පළ කරන ලදි.

මුළු මහත් සබරගමුව සිසාරා ගසක් ගලක් නෑර ඇවිදිමින් පර්යේෂණ කළ උන්වහන්සේ සබරගමු ඉතිහාසයට ගෙනදුන්නේ නොමඳ ආලෝකයකි. ශ්‍රීපාදස්ථානය, කූරගල වැනි ඓතිහාසික ස්ථාන ගැන විෂාල වශයෙන් පර්යේෂණ කර අනාවරණය කළ කරුණු රාශියකි. සොයාගත් සෙල්ලිපි මහත් රාශියක් ඇත.

ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්තානය තුළ නව දියුනුවක් ඇති කොට නව ගොඩකැඟිලි ඉදි කොට  කටයතු කළ අතර ශාස්ත්‍රෝදය මුද්‍රණාලය ආරම්භ කිරීමෙන් තම ලෙඛන කලාවේ දියුණුවට කටයතු කරගත් අතර එය මේ ප්‍රදේශයේ අවශේෂ කටයතු වලටද විෂාල සහයක් විණි.

ප්‍රදේශයේ අවශේෂ අවශ්‍යතාද ඉටු කිරීමට නොපසුබට වූ උන් වහන්සේ මාරපන මාර්ගය සකස් කරමින් වේ ගඟ හරහා පාලමක් ඉදි කිරීමටද පුහෝගාමී වූහ. දුප්පත් පොහොසත්කම් නොබලා කළ හැකි සෑම උපකාරයක් ම නොපසුබටව සිදු කළ උන් වහන්සේ තමාගේ පෞද්ගලික මෝටර් රථය දායක භවතුන්ගේ අවශ්‍යතා සඳහා ද ලබා දීමට මැළි නොවී ය. බෙහෙත් සපයා ඇත්තේත් වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇත්තේත් කිසිඳු අයකිරීමකින්  තොරවම ය. 

ඓතිහාසික භාණ්ඩ වලින් යුත් කෞතුකාගාරයක් ඇතිකොට නොයෙකුත් පුරාවස්තු තැම්පත් කිරීමට උත්සාහ ගත් මුන් වහන්සේ කහවනු මසුරන් සෙමෙර වලිග වැනි දේද එහි තැම්පත් තර තිබුණි. විෂාල පුස්තකාලයක් ෂතුව තිබුණු අතර ශ්‍රී ලංකාවේ පළ වූ සියලූම සිංහල පාලි සංස්කෘත හා ඉංග්‍රීසි පොත්වලින් එය සම්පූර්ණ කිරිමට කටයතු කළ උන් වහන්සේ දිවා කාලයේ පැය කිහිපයක් සැතපී රාත්‍රී කාලයම අවධියෙන් පොත් පරීක්‍ෂා කළ බවත් ලියමින් කාලය ගත කළ බවත් සඳහන් වේ.

ක්‍රි.ව. 1908 නොවැම්බර් මස 14වෙනි දින උපත ලැබූ උන්වහන්සේ දහස් ගණන් රෝගීන්ට ජීවිත දානය ලබා දෙවමින් සිය හස්තයෙන්ම ප්‍රතිකාර කරමින් ජාතික ආගමික සාසනික කටයුතුදු සිදුකරමින් 75 වන වියේදී පමණ දැඩිව ගිලන්ව වර්ෂ 1984 අගෝස්තු මස 29වන දින අපවත් වී වදාළ හ.






1 comment: